Loading...

වීසා සඳහා අවශ්‍ය උප්පැන්න, විවාහ ඇතුලු සහතිකවල වලංගු ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්නේ කෙසේද?



Student visa, Job visa, Visit visa වගේ විවිධ අවශ්‍යතාවලට විදේශගත වෙනකොට වීසා ලබාගන්න අපේ නෛතික ලිපිලේඛන (උප්පැන්න/විවාහ සහතික, පාසල් සහතික, හැඳුනුම්පත්, ඔප්පු) ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවලට පරිවර්තනය කරගන්න අපිට නිතර ම සිද්ධ වෙනවා. නමුත් මේ භාෂා පරිවර්තන කරගන්නේ කොහොම ද? පරිවර්තන කරගන්නකොට සැලකිය යුතු විශේෂ කරුණු මොනවා ද කියන ගැන ඇතැම් අයට යම් අවබෝධයක් තිබුණත් යම් යම් තොරතුරු නොදැනීම නිසා අපහසුතාවලට පත්වෙන බොහෝදෙනා ඉන්න බව රජයේ දිවුරුම්දුන් භාෂා පරිවර්තකවරයෙක් (Sworn Translator) හැටියට මා දැක තිබෙන දෙයක්. ඒ නිසා වීසා ලබාගන්න ඉදිරිපත් කරන භාෂා පරිවර්තන සම්බන්ධ ව නිතර පැන නගින ගැටලු කිහිපයක් සහ ඒවාට පිළිතුරු ඇතුළත් සටහනක් (FAQ) තබන්නට මා කල්පනා කළා.

විදේශගතවීමට/වීසා ලබාගැනීමට ඉදිරිපත් කරන භාෂා පරිවර්තන ලබාගන්න පුලුවන් කා වෙතින් ද?

විදේශගතවීමට/වීසා ලබාගැනීමට ඉදිරිපත් කරන භාෂා පරිවර්තන දිවුරුම්දුන් භාෂා පරිවර්තකවරුන්ගෙන් (Sworn Translator) ලබාගන්න පුලුවන්. ඔවුන් ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යංශය මගින් පත් කරලා දිසා අධිකරණයේ දිවුරුම් දී ඇති අය. ඒ නිසා ලෝකයේ ඕනෑම රටකට වීසා ලබාගැනීමට මේ පරිවර්තන වලංගුයි. මොකද ශ්‍රී ලංකා රජයේ අනුමත පරිවර්තන නිසා. ඒ වගේ ම ඔබ ලබාගන්නා පරිවර්තන විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සත්‍යාපනය කරගන්නවා නම් (Attestation) ඒ සඳහා ඉදිරිපත් කළ හැක්කේත් මෙවැනි පරිවර්තන පමණ යි.

දිවුරුම්දුන් භාෂා පරිවර්තකවරුන් (Sworn Translators) සොයාගන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකා රජයේ අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ලංකාවේ සිටින සියලුම දිවුරුම්දුන් භාෂා පරිවර්කවරුන්ගේ නම්, පදිංචි ලිපින සහ දුරකතන අංක ඇතුළත් කර තිබෙනවා. මේ සබැඳියට ගොස් ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සහ අවශ්‍ය භාෂා යුගලය ලබා දී එම නිර්ණායකවලට අදාල භාෂා පරිවර්තකවරුන් කීදෙනෙක් සිටිනවා ද කියා සෙවුම් කරන්න පුලුවන්. ඊට අමතරව මේ සබැඳියෙන් සහ මේ සබැදියෙන් සියලුම භාෂා පරිවර්තකවරුන්ගේ තොරතුරු ඇතුළත් නාමාවලියක් PDF ලෙස ද ලබාගන්න පුලුවන්. ඔබ කිසියම් කිසියම් භාෂා පරිවර්තකයෙකුගෙන් සේවය ලබාගන්නා විට ඔහු/ඇයගේ නම ඇතුලු තොරතුරු මෙහි ඇතුළත් ද කියා සොයාබැලීම ඉතා ම වැදගත්!

Sworn Translators ලා හැර සෘජු ව ම රජයෙනුත් පරිවර්තන ලබාගත හැකි ද?

ඔව්. බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ එහි ප්‍රාදේශීය ශාඛාවලින් උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පමණක් ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්න පුලුවන්. වැඩ කරන දින 5ක් ඇතුළත ඔවුන් එය ලබාදෙනවා. වැඩි විස්තර මේ සබැඳියේ ඇතුළත්. මේ පරිවර්තන වඩා වලංගු බවක් ඇතැම් වීසා උපදේශකවරුන් පැවසුවත් එහි සත්‍යතාවයක් නැහැ. මොකද දිවුරුම්දුන් භාෂා පරිවර්තකවරුනුත් පරිවර්තන ලබාදෙනේනේත් රජයෙන් ලැබුණු අධිකාරියක් යටතෙයි. රජය මේ සේවය ලබාදෙන්නේ ජනතාවට පහසුවක් ලෙසයි. (රජයේ පරිවර්තන සාපේක්ෂව මිල අඩුයි. නමුත් ලබාගැනීමට ගතවන කාලය වැඩියි. ඒ වගේ ම සියලුම වර්ගවල ලේඛන පරිවර්තනය කරන්නෙත් නැහැ.) ඒ නැතිව එහි වෙන වෙනසක් එහි නැහැ.

Sworn Translators ලගෙන් ඕනෑම නෛතික ලේඛනයක පරිවර්තන ලබාගන්න පුලුවන් ද?

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ O Level සහ A Level සහතික වල හැර වෙන ඕනෑම නෛතික ලියවිල්ලක පරිවර්තන ඔවුන්ට සිදු කළ හැකි යි. මේ සහතිකවල පරිවර්තන ලබාගත හැක්කේ අධයාපන අමාත්‍යාංශය හරහා පමණයි. ඒ ගැන තොරතුරු මේ සබැඳියෙන් ලබාගන්න පුලුවන්.

Sworn Translator කෙනෙකුගෙන් ලබාගන්නා පරිවර්තන නීතිඥවරුන්ගෙන් හෝ වෙනත් අයෙකුගෙන් නැවත සහතික කරවා ගන්න ඕන ද?

කිසිසේත් ම අවශ්‍ය නැහැ. මෙය ඇතැම් වීසා උපදේශකවරුන් පතුරුවා ඇති ජනප්‍රිය මිත්‍යාවක්. ඇතැම් රටවල වීසා මාර්ගෝපදේශවල සඳහන් නොතාරීකෘත පරිවර්තන (Notarized Translation) යන්න වරදවා වටහා ගැනීම නිසයි ඔවුන් මෙසේ පවසන්නේ. ඇතැම් රටවල රජයෙන් පරිවර්තකවරුන් පත් නොකරන අතර අදාල සංගමයක සාමාජිකත්වය ඇති ඕනෑම අයකුට පරිවර්තන නිකුත් කළ හැකි යි. එවිට ඔවුන් තමන් ප්‍රමාණවත් දැනුමක් ඇති අයෙකු/සිය පරිවර්තනය නිවැරදි බවට නොතාරිස්වරයකු ඉදිරියේ දිවුරුමකින් සහතික කළ යුතු යි. නමුත් රජයේ ලියාපදිංචි පරිවර්තකවරුන් සිදුකරන විට මෙම ක්‍රියාදාමයේ අවශ්‍යතාවයක් නැති බව එම රටවල ම මාර්ගෝපදේශවල සඳහන්. (නිදසුන් ලෙස කැනඩා වීසා සඳහා ලේඛන අවශ්‍යතා සඳහන් කරන මේ වෙබ් පිටුවේ නොතාරීකෘත පරිවර්තන අනිවාර්ය බව පවසන්නේ පරිවර්තකවරයා certified නැත්නම් පමණයි. Certified Translator යන්න මෙහි නිර්වචනය කරන්නේ “...is a member in good standing whose certification can be confirmed by a seal or stamp that shows the translator’s membership number of a professional translation association in Canada or abroad” ලෙස යි. කෙසේ නමුත් කෙනෙකුට අවශ්‍ය නම් දිවුරුම්දුන් භාෂා පරිවර්තකයෙකුගෙන් ලබාගත් පරිවර්තනයට වැඩි වටිනාකමක්, විශ්වසනීයත්වයක් එක්කරගන්න පුලුවන්, එම පරිවර්තනය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සත්‍යාපනය කරවා ගැනීමෙන්.

වීසා සඳහා පරිවර්තන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරගන්නේ කොහොම ද?

ඔබ විවාහ, උප්පැන්න, අධ්‍යාපන වැනි සහතිකවල පරිවර්තන පරිවර්තකගේ නිල මුද්‍රාව සහ අත්සනට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ද නැවත සහතික කරගැනීමක් කරගත හැකි යි. මෙය අනිවාර්ය නැති නමුත් මෙවිට පිළිගැනීම වැඩි යි. මොකද එම පරිවර්තනය සත්‍ය හා රජයේ අනුමත පරිවර්තකවරයකුගෙන් සිදු වූ බවට ශ්‍රී ලංකා රජයේ සහතික කිරීමක් ඉන් වන නිසා. මෙය බත්තරමුල්ල, මහනුවර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතර සහ යාපනය යන නගරවල පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත අංශයේ (consular division) ශාඛා මගින් සිදුකර ගන්න පුලුවන්. මේ සබැඳියෙන් එය මාර්ගගත ව (online) සිදුකරගත හැකි අතර මේ සබැඳියෙන් ඒ සඳහා හමුවක් මාර්ගගත ව (online appointment booking) ලබාගත හැකි යි.

මේ සඳහා පරිවර්තන/ලියවිලි ඉදිරිපත් කිරීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
  1. 2008 ට පෙර නිකුත් කළ උප්පැන්න, විවාහ, මරණ සහතිකවල මුල් පිටපත වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් පිටපතක පරිවර්තන යි ඉදිරිපත් කළ යුත්තේ.
  2. ජාතික හැඳුනුම්පතේ පරිවර්තන සඳහා මේ සේවාව ලබාදෙන්නේ නැහැ.
  3. ශිෂ්‍ය කාර්ය දර්ශකයේ පරිවර්තන මේ සඳහා ඉදිරිපත් කිරීමට පෙර අවසානයට ඉගෙනුම ලැබූ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නිල මුද්‍රාව සහිත සහතික කිරීමක් කර ගත යුතු යි.
  4. ඉංග්‍රීසියෙන් ලබාගත් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ දී එය අත්සන් කළේ සාමදාන විනිශ්චයකාරවරයකු (JP) ඉදිරියේ නම් අධිකරණ අමාත්‍යාංශයේ අදාල අංශයෙන් ද (JP Division) ද, එය අත්සන් කළේ දිවුරුම් කොමසාරිස් වරයකු ( Commissioner for Oaths - නීතිඥවරයකු දිවුරුම් ප්‍රකාශ සහතික කරන්නේ මේ පදවි නාමය යටතේ යි.) ඉදිරියේ නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ද අනුඅත්සන් (countersign) කර තිබිය යුතු යි.
  5. නොතාරිස්වරුන් විසින් ලියා සහතික කළ ඇටෝර්නි බලපත්‍ර ද ඉහත කොන්දේසියට යටත්.
  6. මේ සඳහා ගාස්තුවක් රජය අයකරනවා.
  7. මේ සහතික කිරීම වලංගු වන්නේ වසරක කාලයකට පමණයි.

German, France වගේ Europe Country වලට හෝ Japan, Korea වගේ රටවලට ඒ භාෂාවලින් පරිවර්තන ඉදිරිපත් කළ යුතු ද?

අනිවාර්ය නැහැ. අදාල රටේ නිල භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාවෙන් යන දෙකින් කවර හෝ එකකින් පරිවර්තන ඉදිරිපත් කළ හැකි යි. බොහොමයක් රටවල මාර්ගෝපදේශවල මේ බව සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ජර්මන්, ප්‍රංශ, ජපන්, චීන භාෂාවලට දිවුරුම්දුන් භාෂා පරිවර්තකවරුන් සුලු වශයෙන් හෝ සිටිනවා. නමුත් සෙසු යුරෝපීය භාෂාවලට නම් නැති තරම්.

පරිවර්තනවලට වලංගු කාලසීමාවක් තියෙනව ද?

නිල වශයෙන් නැහැ. නමුත් ඇතැම් රටවලට මාස 6ක් තුළ ලබාගත් පරිවර්තනයක් ඉල්ලා සිටින අවස්ථා තිබෙනවා. වසරකට දෙකකට වඩා පැරණි පරිවර්තන ඉදිරිපත් නොකිරීම කෝකටත් හොඳයි. ඒ වගෙම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සත්‍යාපනය වලංගු වන්නේ වසරක කාලයකට පමණයි.

පරිවර්තන ලබාගත යුතු විශේෂ කොලයක් තිබෙනවා ද?

ඇතැම් පරිවර්තකවරුන් කහ පැහැ කොලයක පරිවර්තන නිකුත් කරනවා. නමුත් ඇමරිකාව, එංගලන්තය වැනි බොහෝ රටවල පරිවර්තන සේවා සමාගම් පරිවර්තන නිකුත් කරන්නේ අදාල සමාගමේ නිල ලිපි ශීර්ෂයක යි. ශ්‍රී ලංකාවේ මේ දෙආකාරයෙන් ම පරිවර්තන නිකුත් කරන පරිවර්තකවරු සිටිනවා. මේ කොහොම දුන්නත් නෛතිකභාවයේ වෙනසක් නැහැ. හැම රටක් ම මේ දෙවිධියේ ම පරිවර්තන පිළිගන්නවා. වැදගත් වන්නේ මුල් ලියවිල්ලේ හැම දෙයක් ම නිසි පරිදි පරිවර්තනය වී නිල මුද්‍රාව, අත්සන ඇතුලු නෛතික උපචාර නිසි පරිදි අනුගමනය වී තිබීම යි.

ඔබත් වීසා සදහා ලියවිලි පරිවර්තනය කරවාගැනීමට දිවුරුම්දුන් භාෂා පරිවර්තන සේවාවක් සොයනවා ද?

එසේ නම් ඔබටත් අප දිවරුම්දුන් භාෂා පරිවර්තන සේවාව හරහා ඔබගේ උප්පැන්න සහතික, විවාහ සහතික, අධ්‍යාපනික සහතික සහ ඔප්පු අතුලු සියලු ම ලියවිලි නිවැරදි ව විශ්වාසවන්ත ව සහ ඉතා ම කෙටි වෙලාවකින් ලබාගැනීමට හැකි යි. ඔබ ලංකාවේ කොතැනක වුවත් ඔබට අපගේ සේවාව ඔන්ලයින් ක්‍රමයට ලබාගත හැකි යි.

අප සමග සම්බන්ධ වන්න වට්ස්ඇප්

Our Feedbacks

Clients are Talking

Read All Reviews
WhatsApp